තෘප්තිය සහ වින්දනය




අද මට හිතුනා ඔයාලට චූටි කතාවක් කියන්න. මේක මේ 9 වසරේ ඉංග්‍රීසි පොතේ තිබුණු කතාවක්.

ඔන්න දවසක් දා දර කපන කෙනෙක් පැය දෙක තුනක් දර කපලා ඉවර වෙලා පැත්තකට වෙලා ගිමන් හරිනවා. ඔය වෙලාවෙ ම ඔතනින් යනව සුද්දෙක්. සුද්ද මේ දර කපන මිනිහ ලගට ඇවිල්ල අහනව
"ආ ...... උන්නැහේ දර කපල ඉවරද ?"
"ඔව් සුදු මහත්තයෝ මම මේ ටිකක් ගිමන් හැරල ගෙදර යන්න කියල දර ටිකත් අරන් "
සුද්ද පුදුම වෙලා අහනවා
"ඇයි උන්නැහේ තාම උදේ වරුවනේ තව ටිකක් දර කැපුව නම් ඔහේට ලාබයි නෙ..."
"අනේ මොකටද සුදු මහත්තයෝ මේ වැඩ කරපු ටික මටයි මගේ ලමයි ටයි ගෙදර උන්දැටයි කාල ඇදල ඉන්න වැඩිත් එක්ක "
සුද්ද කල්පනා කලා මේ මිනිහට හොද ‍උපදෙසක් දීල ගොඩ දාන්න ඕන කියල හිතල
"එහෙම නෙවෙයි නෙ උන්නැහේ ඔන්න හිතල බලන්න උන්නැහේ අද හවස් වෙනකන් දර කැපුව එතකොට මොකද වෙන්නෙ ඔන්න උන්නැහේ ට ලාබයක් එකතු වෙන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට උන්නැහේ ලග සල්ලි ටිකක් එකතු වෙලා උන්නැහේ දර කපන මැෂින් එකක් ගන්නවා   "
ඔන්න දැන් අර හාන්සි වෙලා හි‍ටපු මෑන් ටිකක් කෙලින් වෙලා කටත් ඇරගෙන කතා‍ව අහන් ඉන්න‍වා.
"දැන් ඔන්න ‍මැෂින් එකෙන් කපන නිසා ලැබෙන ලාබය ‍වැඩි යි. ටික කාලයක් යන කොට උන්නැහේ දර කපන එක අත ඇරලා ගෝල‍යෝ ටිකක් ගන්නව. දැන් ඉතින් උන්නැහේගෙ ව්‍යාපාරය සරුයි නෙ උන්නැහේ අර පේන දිය ඇල්ල ගාව ලස්සන ගෙයක් හදල පවුලත් එක්ක වාහනේකුත් අරන් එහෙ පදිංචියට යනව "
"ඊට පස්සෙ "
"ඊට පස්සෙ මොනවද ඉතින් උන්නැහේට බැරියැ මෙන්න මෙතන සෝපාවක් හදල තමන්ගෙ ජීවිතේ සැදෑ සමය ආතල් එ‍කේ රෙස්‍ට් එකේ ඉන්න "
ආපහු හාන්සි උන දර කපන මිනිහා
"ඉතින් සුදු මහත්තයො මම දැනුත් ඒක නෙ කරන්නෙ "